නාවික විරුවන් හිරේ දැම්මේ සාක්‍ෂි හදලද?

සමන් ගමගේ විසිනි

විඡේකාන්තන් හිටපු එල්ටීටීඊ සමාජිකයෙකි. කොටි සාමාජිකයකුව සිටියදී වන්නි මානුෂීය මෙහෙයුම අවසන් අදියරට ළඟා වන තෙක්‌ම හේ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව හේ සටන් කළේය.

දැන් ඇතැමුන්ට බරපතළ ගැටලුවක්‌ මතුවනවා විය හැකිය. ඒ “දිවයින රණවිරු” පිටුවේ කොටි ත්‍රස්‌තවාදියකු ගැන කතා කරන්නේ ඇයිදැයි ලෙසිනි. එහෙත් විඡේකාන්තන් යනු මුලදී එල්ටීටීඊ සාමාජිකයකුව සිටියද පසුව නාවික හමුදා බුද්ධි අංශ සමඟ එක්‌වී උපන් බිමේ විමුක්‌තිය වෙනුවෙන් එල්ටීටීඊයට එරෙහිව බොහෝ දේ සිදු කෙරූවෙකි.

එහෙයින් ඔහු සුවිශේෂී වන්නේය. එය කෙසේ වෙතත් මෙසේ නාවික හමුදා බුද්ධි අංශ සමඟ එක්‌වී කටයුතු කළ විඡේකාන්තන් එහිදී සිදු කළ මෙහෙයුම් සේම වැදගත් වන්නාවූ තවත් කටයුත්තක්‌ වෙනුවෙන් ඉකුත් සතියේ යළි නිර්භයව ඉදිරියට පැමිණ සිටිනු අපට දැකගත හැකි විය.

දිනය පසුගිය දෙසැම්බර් 22 වැනිදාය. ස්‌ථානය කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය ය. එදින අධිකරණයේ කටයුතු ආරම්භ වී සුළු වේලාවක්‌ ගත වෙද්දී පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා තමන්ට සුපුරුදු දේශපාලන පිටියෙන් මඳකට ඈත්ව අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් විශේෂ කරුණු දැක්‌වීමක්‌ කරන්නට විය.

ඒ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාමාණ්‌ඩර් ඩී.කේ. පී. දසනායක, නාවික හමුදා ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානියාව සිටි කමාණ්‌ඩර් සුමිත් රණසිංහ ඇතුළු රණවිරුවන් පිරිසකට මාස හත අටක කාලයක්‌ තිස්‌සේ සිරබත උරුම වී ඇති කොළඹ වැල්ලවත්තේදී තරුණයන් පස්‌ දෙනකු ඇතුළුව පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගියේ යෑයි කියන සිද්ධිය පිළිබඳ නඩුවට අදාළවය.

එහිදී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ කුමක්‌ද? විජෙකාන්තන් යනු රහස්‌ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තා අනුව මෙම නඩුවේ 2,3,4,5,,6 යන විත්තිකරුවන්ට එරෙහිව තිබෙන ප්‍රබල සාක්‍ෂියකි.

කෙටියෙන් කිවහොත් අද දවසේ ඉහතකීS විත්තිකරුවන්ට එරෙහිව ප්‍රබලව චොද්නා එල්ලවී තිබෙන්නේ විඡේකාන්තන් රහස්‌ පොලිසියට ලබාදුන් ප්‍රකාශයක්‌ පදනම්වය. එහෙත් මේ විඡේකාන්තන් වෙනුවෙන් පෙනී සිටිමින් එදා අධිකරණය හමුවේ කරුණු දැක්‌වූ උදය ගම්මන්පිල මහතා කියා සිටියේ තම සේවාදායකයා රහස්‌ පොලිසියට ලබාදුන් ප්‍රකාශ විකෘති කර රහස්‌ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බැවින් නිවැරදි ප්‍රකාශය අධිකරණය ඉදිරියේ කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටින බවය.

එනිසා එයට අවසර ලබා දෙන ලෙසද උදය ගම්මන්පිල මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මේ වන විට මෙම නඩුවට අදාළ විත්තිකරුවන් වූ නාවික හමුදා බුද්ධි අංශයේ රණවිරුවන් බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙනවිත් නොතිබිණි. එහෙයින් උදය ගම්මන්පිල මහතා එසේ අවසර පතත්දී අධිකරණය සඳහන් කරනු ලැබුවේ එම නඩුව කැඳවන අවස්‌ථාවේ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසය.

කාලය ගෙවී යමින් තිබිණි. මේ අතරේ ත්‍රිකුණාමලය නාවික බුද්ධි ප්‍රධානියා වූ කමාණ්‌ඩර් සුමිත් රණසිංහ ඇතුළු පිරිස බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ගෙන එනු ලැබීය. කාමාණ්‌ඩර් දසනායක අසනීප තත්ත්වයක පසුවූ බැවින් ඔහුව එදින රැගෙනවිත් නොතිබිණි.

අවසානයේ ඉකුත් 2008 වසරේ වැල්වත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළුව පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහි නඩුව විභාග කිරීම ආරම්භ විය.

navy1එහිදී යළිත් නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙර ඉල්ලීම අධිකරණයෙන් කරනු ලැබූ අතර ඒ වන විට කොටි සාමාජිකයකුව සිට පසුව සවිධානය අතහැර පැමිණ නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට එක්‌වූ විඡේකාන්තන්ද අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියක්‌ ඉදිරිපත් වී “මේ සැරසෙන්නේ ප්‍රකාශ වෙනස්‌ කර විත්තිකරුවන්ට සහාය දැක්‌වීමට” බව සඳහන් කළද ඒ අවස්‌ථාවේ කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පවසා සිටියේ විඡේකාන්තන් ලබාදීමට යන ප්‍රකාශයට එරෙහිව ඉදිරිපත් කළ හැකි යම් නෛතික විරෝධයක්‌ තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙසය.

පසුව විඡේකාන්තන් ඇමතූ මහෙස්‌ත්‍රාත්වරිය තමන් අදාළ ප්‍රකාශය අධිකරණය ඉදිරියේ කිරීමට බලාපොරොත්තු වන්නේ කිනම් භාෂාවකින්දැයි විමසා සිටියාය. එහිදී ඔහුගේ පිළිතුර වූයේ තමන් දෙමළ භාෂාවෙන් එය සිදු කරන බවය.

මේ හමුවේ එදින අධිකරණ භාෂා පරිවර්තක නොසිටි බැවින් විඡේකාන්තන් දෙමළ භාෂාවෙන් කරන ප්‍රකාශය ලබන 2 වැනිදා සිදු කිරීමට අවසර දෙමින් එය එදින දක්‌වා කල් තැබීමට විනිසුරුවරිය තීරණය කළාය.

සැබැවින්ම මේ නාවික හමුදා විරුවන්ට එරෙහිව රහස්‌ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විඡේකාන්තන්ගේ විකෘති කරන ලද ප්‍රකාශය සහ විඡේකාන්තන් අධිකරණය හමුවේ කියන්නට යන සත්‍ය ය කුමක්‌ද?

මේ පිළිබඳව එදින නීතිඥවරයකු ලෙස අධිකරණයට පැමිණ සිටි මේජර් අජිත් ප්‍රසන්න මෙසේ අදහස්‌ දක්‌වන්නට විය.

“ඇත්තෙන්ම විඡේකාන්තන් කියන්නේ නාවික හමුදා බුද්ධි අංශය සමඟ එක්‌ව වැඩ කළ දෙමළ භාෂාව ලියන්නට කියන්නට සහ කාතාකරන්නටද හැකියාව තිබෙන එහෙත් සිංහල භාෂාන කතා කරන්නට පමණක්‌ පුළුවන් අයෙක්‌. ඔහුට සිංහල භාෂාව කියවන්නට බැහැ.

“රහස්‌ පොලිසිය ඔහුගෙන් මෙම සිද්ධිය පිළිබඳ මුලින්ම ප්‍රකාශයක්‌ ගෙන තිබෙන්නේ මීට වසර කිහිපයකට ඉහතදී. එදා ඔහු රහස්‌ පොලිසියේ කැඳවීමට අනුව එහි ගියහම සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිශාන්ත සිල්වා කියන නිලධාරියා ඔහුගේ ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා. පසුව ඔහුට ඇසෙන්නට එය කියවා විඡේකාන්තන්ගේ අත්සයන එයට ලබා ගන්නවා.

“එදා තමන්ගේ ප්‍රකාශය ලියා ගත්ත නිලධාරියා එය තමන් ඉදිරියේ කියවන විට තමන් සඳහන් කළ සියල්ල එහි සටහන්ව තිබෙන බව විඡේකාන්තන්ට වැටහෙනවා. නමුත් ඔහුට එය කියවා බැලීමට හැකියාවක්‌ නැහැ. එනිසා ඔහු එයට සිය අත්සන තබා පිටව ගොස්‌ තිබෙනවා.

“මේ අතරෙදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නැවත ප්‍රකාශයක්‌ ලබා ගැනීමට මුල් ප්‍රකාශයෙන් වසර කිහිපයකට පසු රහස්‌ පොලිසිය විඡේකාන්තන්ව යළි කැඳවනවා. ඒ කැඳවීමට අනුව විඡේකාන්තන් රහස්‌ පොලිසියට ගියත් ඔහුට මුල් ප්‍රකාශය මතක නැහැ. ඔහු ඒ බව තමන්ව ප්‍රශ්න කිරීමට සැරසෙන නිලධාරීයට දැනුම් දුන් විට එම නිලධාරියා විඡේකාන්තන් ලබා දුන් මුල් ප්‍රකාශය හඬ නගා ඔහුට ඇසෙන්නට කියවනවා.

“මෙන්න මෙතනදී තමයි විඡේකාන්තන් මුල්වරට තේරුම් ගන්නේ තමන් කියපු දේවල් නෙමෙයි එහි තිබෙන්නේ කියලා. එහෙත් ඔහු නිශ්ශබ්ධව දෙවන ප්‍රකාශයක්‌ ලබා දී පිටව යනවා. හේතුව තමන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක්‌ මතුවීම නිසා.

“පසුව ඔහුව නැවත වරක්‌ රහස්‌ පොලිසියට කැඳවා ප්‍රකාශයක්‌ ගෙන තිබෙනවා. එතනදී විඡේකාන්තන්ට හොඳින්ම වැටහෙනවා තමන් ලබා දෙන ප්‍රකාශ වෙනස්‌ කිරීමක්‌ සිදුව ඇති බව. ඒ වෙනකොට ඔහුගේ ප්‍රකාශයක්‌ මත පදනම්ව ඔහුත් සමඟ එකට කටයුතු කළ නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක්‌ සිරගතව සිටීම පිළිබඳ ඔහු විශාල කම්පනයකට පත් වෙනවා.

“එතනදී තමයි ඔහු තීරණය කරන්නේ අධිකරණය හමුවට පැමිණ තමන් සමඟ සිටි සිහෝදර නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කරන්න..”

එහෙත් නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න කියන අකාරයට මෙවැන්නක්‌ සිදු කළ හැකිද? අපේ පොලිසියේ ඇතැම් මහත්වරු නව කතා ගොතා ඕනෑම එකෙකු දංගෙඩියට යවන්නට දකක්‍ෂයෝය. එහිදී සක්‌කරයාගේ පුතා වයිමා සිටියද ගැලවී යැමට නම් නොහැකි වනු ඇත. එහෙත් කෙනකු ලබා දෙන ප්‍රකාශයක්‌ විකෘති කර කෙනකු හිරේ අරින්නට පුළුවන්කමක්‌ තිබිය හැකිද?

නීතිඥ මේජර් අජිත් ප්‍රසන්නට එයට දෙන්නට ද පිළිතුරක්‌ නම් තිබිණ. ඒ මෙසේය.

“මේකට හොඳම උදාහරණය තමයි ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ විභාග වුණ SCරැ FRරැ 81රැ 2011 නඩුව. මේ නඩුව ශ්‍රෝෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන්නේ අංක 262, හිඹුටාන, අංගොඩ ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්‌. අද නාවික හමුදා රණවිරුවන්ට එරෙහිව විමර්ශන කරන නිලධාරීන්ම එක්‌තරා දිනක මේ පුද්ගලයව අත්බෝම්බයක්‌ සන්තකයේ තිබුණ බවට පැමිණිල්ලක්‌ ලැබුණයි කියමින් අත්අඩංගුවට ගන්නවා.

“ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවෙදී හෙළි වෙනවා එවන් පැමිණිල්ලක්‌ තිබුණේ නැහැ කියා. පැමිණිල්ල කරයි කියන පුද්ගලයම ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි ඒ බව සඳහන් කරනවා. අවසානයේ මුලික අයිතිවාසිකම් නඩුව ගොනු කළ පුද්ගලියාට රුපියල් ලක්‍ෂ තුනක මුදලක්‌ වන්දි වශයෙන් ගෙවන්න රහස්‌ පොලිසියේ නිලධාරීන්ට සිදු වෙනවා.

“අද ඒ නිලධාරීන්ම තමයි නාවික හමුදා බුද්ධි අංශයේ රණවිරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරන්නේ. හරිනම් මේ තීන්දුවෙන් පස්‌සේ වහාම සිදු විය යුත්තේ මේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් නාවික හමුදා රණවිරුවන්ට එරෙහිව කරන විමර්ශනයෙන් ඉවත් කිරීම. එහෙත් තවමත් එවැන්නක්‌ සිදු වෙලා නැහැ..”

ඇත්ත වශයෙන්ම නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න කියන අන්දමට අද රහස්‌ පොලිසිය කරනු ලබන මේ විමර්ශන පිළිබඳ ආරම්භයේ බොහෝ ගැටලු සහගත තැන් විටින් විට අනාවරණය විය. එහෙත් ඒවා නිවැරදි වනු වෙනුවට දිගින් දිගටම එසේම සිදු විය.

මේ වුවමණාව කාගේදැයි අපි නොදන්නෙමු. එහෙත් කාගේ වුවමණාවට වුව නිරපරාදේ මිනිසකු සිර කරන්නට කවුරුන් විසින් හෝ කටයුතු කරන්නේ නම් එකා මොන තරම් කාලකණ්‌ණිද? ඉන් එහා කියන්නට දෙයක්‌ අපට නැත.

කෙනකු වසලයකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව බුදුන් වහන්සේ දේශනා කළහ. විඡේකාන්තන් අද කියන පරිදි ඔහුගේ ප්‍රකාශය විකෘති කර ඇත්නම් එයද එවැනි වසල ක්‍රියාවක්‌ම නොවන්නේද?

එසේ සිදු කළ වසලයෝ කවරහුද? අප ඔබට කියන්නේ තව ටිකක්‌ බලාගෙන සිටින්නැයි කියාය. තිස්‌ වසරක්‌ රටම විඳවූ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අවසන් කර උපන් බිමට සාමය දිනා දුන් රණවිරුවන් දඩයම් කරන අතරේ සමස්‌ත රටම වැනසූ උන් සියලු දෙනාගේ නිරුවත නුදුරේදීම රටට හෙළි වනු ඇත.

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *