දිස්‌ත්‍රික්‌ක 15 ක හදිසි ආපදා තත්ත්වයෙන් මියගිය ගණන 203 ට නගී.. 96 ක්‌ තවමත් අතුරුදන්…ලක්‌ෂ 6ක්‌ විපතට පත්වෙති

සිරිමන්ත රත්නසේකර

දිස්‌ත්‍රික්‌ක 15 කට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඇතිවූ ගංවතුර, නායයැම් සහ වෙනත් අනතුරු හේතුවෙන් ඊයේ (31 වැනිදා) වනවිට පුද්ගලයන් දෙසීය තුන්දෙනකු මියගොස්‌ තවත් පුද්ගලයන් අනූහය දෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ‘දිවයින’ ට පැවසීය.

එසේම පුද්ගලයන් හැටතුන් දෙනකු තුවාල ලබා ඇතැයිද හෙතෙම කියා සිsටියේය.මෙම ස්‌වභාවික උවදුරින් ඊයේ වනවිට පවුල් එක්‌ලක්‍ෂ හැට හතර දහසකට අයත් පුද්ගලයන් හය ලක්‍ෂ තිස්‌ එක්‌දහස්‌ තුන්සිය හතළිස්‌ හය දෙනකු පීඩාවට පත්ව ඇති බව සඳහන් කළ හෙතෙම මෙම අනතුරු හේතුවෙන් නිවාස එක්‌දහස්‌ පන්සිය අටක්‌ සම්පූර්ණයෙන්ම ද තවත් නිවාස හත්දහස්‌ හයසිය දාහතක්‌ (7617) අර්ධ වශයෙන් ද හානි වී ඇති බව පැවසීය. 

පීඩාවට පත්ව සිටින පිරිසෙන් පවුල් දහනවදහස්‌ අටසිය හැත්තෑ හයකට (19876) අයත් පුද්ගලයන් හැත්තෑහත්දහස්‌ හයසිය හතළිස්‌ තුන්දෙනකු ආරක්‍ෂිත ස්‌ථාන තුන්සිය හැට තුනක්‌ වෙත යොමු කර ඇතැයිද කොඩිප්පිලි මහතා කියා සිටියේය.

පැවැති ගංවතුර තත්ත්වය කෙමෙන් කෙමෙන් අඩුවී ගෙන යන බවත් කළු ගඟ, ගිංගඟ හා නිල්වලා ගංගාවන්හි පහළ නිම්නයේ පමණක්‌ තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක්‌ පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවහන හා ගංවතුර පාලන අංශයේ අධ්‍යක්‍ෂ ජානකී මීගස්‌තැන්න මහත්මිය “දිවයින” ට පැවසුවාය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන් ට අනුව ඉදිරි දින 10 තුළ තෙත් කලාපයට මිලිමීටර් 60 අඩු වර්ෂාපතනයක්‌ ලැබීමට නියමිතව ඇති බැවින් ඉදිරියේදී ගංවතුර තත්ත්වය බැස යනු ඇතැයිද ඇය කීවාය.

ගංවතුරින් හානි වූ ඇළ වේලි ජලාශ ප්‍රතිසංස්‌කරණය ඉතා කඩිනමින් ආරම්භ කර ඇති බවත් නිල්වලා ගඟේ ජලයෙන් යට වූ පොම්පාගාර තුනෙන් දෙකක්‌ ඊයේ (31 වැනිදා) වනවිට ප්‍රතිසංස්‌කරණය කර පොම්ප කිරීම ආරම්භ කළ බවත් මීගස්‌තැන්න මහත්මිය කියා සිsටියාය.

ගංවතුර රැඳී ඇති ප්‍රදේශවල ඇළවේලි කපා ජලය බැස යැමට ඉඩ ලබාදීම සිදු කරන බවත් එම කටයුතු ඊයේ ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.

ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය විසිහතර තුළ උපරිම වර්ෂාපතනය මිලිමීටර් 83.2 ක්‌ ලෙස නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව පළාත්වලටත් බස්‌නාහිර පළාතේ සහ ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙහි මද වැසි ඇති වූ බවත් සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැසි සහිත තත්ත්වය කෙමෙන් පහව යනු ඇතැයි ද කීය.

කෙසේ වෙතත් අද (01 වැනිදා) පුත්තලමේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්‌වා සහ මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්‌වා මුහුදු ප්‍රදේශවල සුළං පැයට කිලෝ මීටර් 70 දක්‌වා වැඩි විය හැකි බවත් එම නිසා මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්‌වභාවයක්‌ ගන්නා බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහෙයින් ධීවර ප්‍රජාව මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් දිවයින හරහා හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ක්‌ පමණ වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයිs.

මේ අතර විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම ආපදා හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් හය ලක්‍ෂ විසිපන්දහසකට විදුලි සම්බන්ධතා ඇනහිsටි බවයි. ඉන් බහුතරයක්‌ විදුලි සම්බන්ධතා ලබාදීමට අමාත්‍යාංශය මේ වනවිට ක්‍රියා කර ඇති බවත් තවත් එක්‌ලක්‍ෂ හැත්තෑ හත්දහස්‌ හත්සිය හැත්තෑ පස්‌ දෙනකුට විදුලිය ලබාදීමට තිබෙන බවත් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා “දිවයින” ට පැවසීය.

ඉදිරි පැය 24 තුළ වර්ෂාව අඛණ්‌ඩව පැවැතියහොත් රත්නපුරය, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයන්හි නාය යැම් සහ කණ්‌ඩි කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතිනු ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කියා සිටී.

ජල ගැලීම් හේතුවෙන් යම් යම් පිවිසුම් මාර්ග වසා තිබූ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිවිසුම හැර අනෙකුත් සියලුම පිවිසුම් මාර්ග ඊයේ වනවිට විවෘත කළ බව අධිවේගී මාර්ගයේ නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා කියා සිsටියේය.

මේ අතර ගාල්ල තොනේගොඩ කන්ද නාය යැමේ අවදානමක්‌ ඇති බැවින් එම ප්‍රදේශයේ සිsටි පවුල් අනූ හතරක්‌ ඉන් ඉවත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි. 

ඕමත්ත ජනපද කනිටු විදුහල වෙත පිවිසිය හැකි පොලේගොඩ තැන්නහේන මාර්ගය මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් කැඩී බිඳී ගොස්‌ ඇති බවත් ඉඩම් හිමියන්ගේ අකැමැත්ත නිසා විකල්ප මාර්ග සකසා ගැනීමට නොහැකි වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. මෙම ස්‌ථානයට ප්‍රවිෂ්ට විය හැකි අවදානම් සහිත විකල්ප මාර්ගයක්‌ භාවිත කළ හමුදා ලොරි රථයක්‌ පෙරළී ගොස්‌ ඇතැයිද ඔවුහු පවසති.

මේ අතර පීඩාවට පත් ජනතාවට සහන රැගත් පාකිස්‌තාන නාවික හමුදාවට අයත් නෞකාවක්‌ ඊයේ මෙරටට සේන්දු වී ඇති අතර කාර්ය මණ්‌ඩල සාමාජිකයන් 40 ක්‌ සහ නාවිකයන් 241 ක්‌ එහි පැමිණ තිබේ.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *