විග්නේස්වරන්ගේ අවුරුදු දෙදහ

නලින් ද සිල්වා

 

විග්නේස්වරන් හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරයකු ලෙස කියන කතාවලට යම්කිසි වැදගත්කමක් ලැබෙනවා. දෙමළ ජනයා අවුරුදු දෙදහකට වැඩි කාලයක් මෙරට සිටි බව විග්නේස්වරන් කියනචා. මේ රටේත් පිටරටත් ඉතිහාසය පිළිබඳ ව ඔහු කියන කතා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. බටහිරයන් ඒ වැරදි බව දැන දැන ම එකඟ වන බවක් පෙන්වනවා. එහෙත් ඒ කියන කතාවලට ඇති සාධක කුමක් ද කියා ඇසුවහොත් ඔහුට කියන්න තිබෙන්නේ මොනවා ද? යාල්පන වෛපව මාලෙයි හැරෙන්නට ඉදිරිපත් කළ හැකි ලිඛිත සාධකයක් තිබේ ද? වෛපව මාලෙයි ලිවුවේ ලන්දේසින්ගේ අවශ්‍යතාවට දහහත්වැනි සියවසේ දී. එයට පෙර ලියැවී ඇති ග්‍රන්ථ කවරේ ද?

 

දෙමළ ජාතිවාදීන් ප්‍රකාශ කරන සිලප්පදිකාරම් වැනි ග්‍රන්ථ එකක්වත් ලංකාවේ ලියැවුණු ඒවා නො වෙයි. මෙරට ඉතා ඈතට යන දෙමළ ඉතිහාසයක් ඇත්නම් මෙහි ලියැවී ඇති දෙමළ ග්‍රන්ථ කවරෙ ද? එවැනි ග්‍රන්ථ නැත්නම් එහි තේරුම මෙරට සිටියේ යැයි කියන දෙමළ ජනයා දක්‍ෂතාවකින් හෙබි අය නොවූ බව ද? වත්මන් දෙමළ ජනයා ඒ බව පිළිගැනීමට කැමති වන එකක් නැහැ. එහෙනම් ඔවුන්ට පිළිගන්න වෙන්නේ ඉතා ඈතට දිව යන දෙමළ ඉතිහාසයක් මෙරට නැති බවයි. රැවුළත් කැඳත් දෙක ම බේරා ගැනීමට  වත්මන් දෙමළ ජනයාට බැහැ. විග්නේස්වරන්ට කොහොමටත් බැහැ.

 

මෙරට දෙමළ සෙල් ලිපි කොපමණ තිබේ ද? අවුරුදු දෙදහසකට වැඩි ඉතිහාසයක් ඇතැයි කියන උතුරු හා නැගෙනහිර පළාත්වල (ඒ පළාත් ඇති කරනු ලැබුයේ ඉංගිරිසින් විසින් ය යන්න අමතක කරමු) දෙමළ සෙල් ලිපි කොපමණ තිබේ ද? එහි සිටියේ යැයි කියන දෙමළ ජනයාට කියවීමට දුන්නේ සිංහල සෙල්ලිපි ද? එකලත් දෙමළ ජනයාට ඊනියා අසාධාරණයක් සිදු විිණි ද? එයට වරද කරුවා එකල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළ අය ද? දෙමළ ජනයා එපමණ සිටිය දී සිංහල රාජ්‍ය භාෂාව කෙරුණේ කෙසේ ද? එවකට රාජ්‍ය භාෂාව යන සංකල්පය නොතිබිණි යැයි පඬියකු කීමට ඉඩ තිබෙනවා. සංකල්පය තිබුණත් නැතත් වැඩ කෙරී ඇත්තේ සිංහලෙන්! රාජ්‍ය භාෂාව කියන සංකල්පය ඇති වීමට රාජ්‍ය නොවන භාෂා තිබිය යුතු ද? ඒවා රාජ්‍ය නොවන සංවිධාන වැනි ද? රාජ්‍ය භාෂාවේ අනෙකා කවුද? පඬියන් අපට ඒ සියල්ල තේරුම් කර දෙනවා ද?

 

උතුරු හා නැගෙනහිර පළාත්වල අවුරුදු හයසියයකට වඩා පැරණි කෝවිල් තිබෙනවා ද? නල්ලූර් කෝවිල තැනුවේ කවු ද? එහි සපුමල් කුමරුට ස්තෝත්‍ර කීවේ ඇයිසුළු කාලයකට පමණක් පොළොන්නරුවේ සිටි සොළීන් එහි කෝවිල් කිහිපයක් ගොඩ නැගුවා. ඒවා දේවාල නො වෙයි. ඒවා පසුව සමහරවිට සිංහලයන් දේවාල කරන්න ඇති. ශිව දේවාල එසේ දේවාල කෙරුණු සොළීන්ගේ කෝවිල් වෙන්න පුළුවන්. අනෙක් අතට ඈත හෙළ සංස්කෘතියක ශිව දේවාල තිබෙන්නත් ඇති.  දේවාල ඈත අතීතයේ සිට ම සිංහල සංස්කෘතියේ තිබුණා. හින්දූන්ගේ දේවාල නැහැ. ඇත්තේ කෝවිල් පමණයි. කතරගම ඇත්තේත් දේවාලයක් මිස කෝවිලක් නො වෙයි. එයත් අයත් වන්නේ සිංහල සංස්කෘතියට.

 

අප කෝවිල් හා දේවාල අතර වෙනස හඳුනා ගත යුතුයි. පොළොන්නරුවේ සොළීන් කෝවිල් ඉදි කෙළේ යැයි උපකල්පනය කරමු. එසේ නම් අවුරුදු දහස් ගණනක් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි වී සිටියේ යැයි කියන දෙමළ ජනයා එහි අතීතයට දිව යන කෝවිල් තනා නැත්තේ ඇයි? ඔවුන් එකල බෞද්ධයන් යැයි කීම කිසිම සාධකයක් නැති මතයක් පමණයි. ආන්ද්‍ර ප්‍රදේශයේ නම් බෞද්ධයන් සිටියා. සිංහලයන් හා ආන්ද්‍ර වැසියන් සමග සම්බන්ධකම් තිබුණා. ආන්ද්‍ර අටුවා ගැනත් අප දන්නවා. බුද්ධඝෝෂ හිමියන් ද වැඩම කර ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශයේ සිටයි. නායක්කාර් කුමාරවරුන්ගේත් සම්භවය ආන්ද්‍ර ප්‍රදේශයේ. ඔවුන්ගේ භාෂාව තෙළිඟු. 

 

දහහතර වැනි සියවසේ යාපනයට පැමිණි මලබාරයන් තමයි මෙරට ස්ථිර ව ජීවත් වූ පැරණිතම දෙමළ කතා කරන ජනයා. ඔවුන් පැමිණියේ මලබාරයෙන් නිසා ඔවුන්ගේ බසෙහි මලයාලම් ආභාසයක් තිබුණා. ඒ ජනයා පැමිණියේ  දෙමළ අනන්‍යතාවක් සහිත ව නො වෙයි. ඒ දෙමළ කතා කරන ජනයාට තිබී ඇත්තේ මලබාර අනන්‍යතාවක්. ඉංගිරිසින් ඔවුන් දිගට ම හැඳින්වූයේ මලබාරයන් කියා. 1848 දී මෙරට ආණ්ඩුකාර ටොරින්ටන් එංගලන්තයේ යටත්විජිත ලේකම්ට යැවූ ලිපියක කියා තිබෙනවා නැගෙනහිරත් යාපනය මෙන් ම මලබාර්වරුන් පදිංචි කිරීමට සූදානම් කියා. මෙයින් කියැවෙන්නේ නැගෙනහිර පළාතේ ඊනියා දෙමළ ජනයා පදිංචි කරන ලද්දේ ඉංගිරිසින් විසින් බවත් ඔවුන් එවකටත් හඳුන්වනු ලැබුයේ මලබාර්වරුන් ලෙස බවත්. එපමණක් නොව යාපනයේ ද කවුරුන් විසින් නමුත් යම්කිසි මලබාර්වරුන් පිරිසක් පදිංචි කරනු ලැබූ බව එයින් කියැවෙනවා. එයින් කියැවෙන්නේ විග්නේස්වරන්ලාගේ මුත්තන් වූ වෙල්ලාලයන් ගැනයි.

 

ටොරින්ටන් සිංහලයන්ට පක්‍ෂපාති අයකු නො වෙයි. 1848 නිදහස් සටන ඔහු ඉතා දරුණු ආකාරයකින් මර්දනය කළා. සිවුරේ සිටි හාමුදුරුවරුන් ඝාතනය කළා. නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබූ මලබාරවරුන් කවුරුන් ද? ඔවුන් මෙරටට පාරවල් තැනීමට හා වෙනත් කාර්යයන් සඳහා ගෙන්වනු ලැබූ අය. ඔවුන් 1848 නිදහස් සටන මර්දනය කිරීමටත් යොදවා ගනු ලැබිණි ද යන්න සොයා බැලිය යුතුයි. කෙසේ නමුත් මේ මලබාරයන් පදිංචි කරනු ලැබුයේ මුස්ලිම් වාසස්ථාන අතර. වත්මන් නැගෙනහිර ජනගහන ව්‍යාප්තිය පිට්ටු බම්බු ව්‍යාප්තියක් ලෙස හැඳින්වෙන්නේ එහි දෙමළ හා මුස්ලිම් ජනයා පොල් පිටි මෙන් විසිරී ඇති බැවින්.

 

ලන්දේසීන් කෝරමණ්ඩළ වෙරළෙන් ගෙනා දෙමළ කතාකරන වෙල්ලාල ජනයා ද හඳුන්වනු ලැබුයේ මලබාරයන් ලෙස. ඔවුන් පැමිණියේ මලබාරයෙන් නො වෙයි. එහෙත් දහහතරවැනි සියවසේ පැමිණි මලබාරයන් හඳුන්වනු ලැබූ ආකාරයට ම ඔවුන් ද මලබාරයන් වුනා. ලන්දේසීන් තේසවලාමේ නීතිය සකස් කෙළේ යාපනයේ මලබාර්වරුන් වෙනුවෙන් මුස්ලිම් නීතියක් අනුගමනය කරමින්. වත්මන් නැගෙනහිර පළාතට ඉංගිරිසින් ගෙන ආ දෙමළ කතාකරන ජනයා ද මලබාර් නමින් ම හඳුන්වනු ලැබුවා. එපමණක් නොව වත්මන් මදුරෙයි ප්‍රදේශයෙන් පැමිණි නායක්කාර් වාංශිකයන් ද ඉංගිරිසින් විසින් හඳුන්වනු ලැබුයේ මලබාරයන් ලෙස. ඉංගිරිසින් මහනුවර එක් විදියක් මලබාර් වීදිය ලෙස නම් කෙරුවා.

 

පැහැදිලි ව ම මෙරට දෙමළ ජනවාර්ගික අනන්‍යතාවක් දහනවවැනි සියවස අවසාන වන තෙක් ම පැවතුණේ නැහැ. 1833 ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන විට මුස්ලිම් ජනයා හා මලබරවරුන් සැලකුණේ දෙමළ කතාකරන ජනයා ලෙසයි. ඔවුන් සියළු දෙනා ම වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාවේ සිටියේ එක් මන්ත්‍රීවරයකු පමණයි. දෙමළ කතාකරන මලබාරවරුන් හා මුස්ලිමුන් වෙන වෙන ම අනන්‍යතා ගොඩනගා ගත්තේ දහනවවැනි සියවස අවසාන වීමත් සමග. ඉන්පසුව මෙරට ලාංකික දෙමළ හෙවත් සිලෝන් ටැමිල් නමින් ජනවාර්ගික අනන්‍යතාවක් සහිත ජනවාර්ගික කොටසක් ඇති වුනා. ඒ අතින් බලන විට මෙරට දෙමළ ජනවාර්ගික අනන්‍යතාවට අවුරුදු එකසිය විසිපහක් නැහැ.  විග්නේස්වරන්ගේ අවුරුදු දෙදහ ලඝු වන්නේ එයටයි. 

 

 



 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *