භික්‍ෂූන් වහන්සේ රාජ්‍යයේ අංශයක්

නලින් ද සිල්වා  විසිනි

කලකට ඉහත ටේ‍රවෝ ලිං පවසා තිබුණේ ථෙරවාද බෞද්ධ රාජ්‍යය රජු, භික්‍ෂූන් වහන්සේ හා ජනතාව යන ගල් තුන මත රැඳුණු බවයි. රජු භික්‍ෂූන් වහන්සේට සිවුපසය ලබාදුන් අතර ජනතාවගේ වුවමනා එපාකම් බලා කියා ගත්තා. භික්‍ෂූන් වහන්සේ රජුට හා ජනතාවට අවවාද අනුශාසනා කළා. ජනතාව භික්‍ෂූන් වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කළා. ඒ අතර ඔවුන් යුද්ධයක දී රජු හා රට වෙනුවෙන් සටන් කළා.

 

මෙහි ටේ‍රවෝ ලිං නොකියන කරුණක් තියෙනවා. රජු තීරණ ගත්තේ රාජසභාව විමසීමෙන්. එහෙත් අවසාන තීරණය රජුගේ. ජනතාව රාජ්‍ය පාලනයට මැදිහත් වුණේ නැහැ. රාජ්‍යය සම්බන්ධයෙන් ගත් කල ගල් තුන එකම මට්ටමක වූයේ නැහැ. රාජ්‍යය සමන්විත වූයේ රජුගෙන් හා සංඝයා වහන්සේගෙන්. අප මේ කාරණය නොසලකා හැර තිබෙනවා. රාජ්‍යයේ අංශ දෙකක් වූවා. එක් අංශයක් රජූ අනෙක් අංශය භික්‍ෂූන් වහන්සේ. භික්‍ෂූන් වහන්සේ රජුට අනුශසනා කෙළේ ධර්මයෙන් පමණක් නො වෙයි. අර්ථයෙන් ද අනුශාසනා කළා.

 

සංඝයා වහන්සේ රාජසභාවේ අසුන් ගත්තේ නැහැ. රාජසභාවේ භික්‍ෂූන් වහන්සේ අසුන් ගැනීමට සැලැස්වූයේ එදත් අදත් බලයට පැමිණීමට හා බලයේ රැඳී සිටීමට ජාතිකත්වය ගසා කන අවස්ථාවාදී චම්පක. එමගින් ඔහු උන්වහන්සේට වැරදි අර්ථකථනයක් ලබා දුන්නා. සංඝයා වහන්සේ එදා රාජසභාවේ අසුන් නොගත්තාට වෙනත් ක්‍රම මගින් රාජ්‍ය පාලනයට හවුල් වුණා. ඇතැම් අවස්ථාවල උන්වහන්සේ තමන්වහන්සේට ප්‍රිය කුමරුන් රජ කරවීමට පවා කටයුතු කළා. ඇතැම් අවස්ථාවල උන්වහන්සේ ගත් තීරණ නිවැරදි වූයේ නැහැ. එහෙත් උන්වහන්සේ රාජ්‍යයේ වැදගත් අංශයක් වූවා. රජු ගත් තීරණත් සමහරවිට වැරදුණා.

 

අප අද ප්‍රශ්න දෙස බලන්නේ බටහිරයන්ගෙ බොරු ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන්. ප්‍රජාතන්ත්‍රවාදයෙ දී හැමෝටම එක ඡන්දයක් තියෙනවා කියලා කියනවා. හැට දෙලක්‍ෂයක් ගැන කතා කරනවා. එතකොට පනස්අට ලක්‍ෂය වැඩක් නැද්ද? එක ඡන්දෙන් දිනන එක්කෙනා ද ඊනියා ජනතා කැමැත්ත නියෝජනය කරන්නෙ. නව ව්‍යවස්ථාවකට ජන වරමක් ලැබිල නැහැ. ජනාධිපතිවරණයේ දී කිසිවකු නව ව්‍යවස්ථාවක් ගෙනෙන බවක් කිව්වෙ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයේ දී එ ජා පෙරමුණ නව ව්‍යවස්ථාවකට ඡන්දය ඉල්ලුවත් ඔවුන්ට ඡන්දවලින් සියයට පනහක් ලැබුණෙ නැහැ.

 

කොහොමටත් සිවල් සාමාජිකයන්ගෙ බොරු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව භික්‍ෂූන් වහන්සේ තිස්දාස් නමක් පමණයි වැඩ ඉන්නේ. උන්වහන්සේගේ මතය සලකන්න ඕන නැහැ. එතකොට සිවල් සාමාජිකයන් රටේ කී දෙනකු ඉන්නවා ද? ඔවුන්ට ජනමාධ්‍යයෙන් මෙතරම් ප්‍රසිද්ධියක් දෙන්නේ ඔවුන්ගේ ඔළුගෙඩිවල වටිනාකම ඩොලර්වලින් තීරණය කරන නිසා ද? මා මෙය තර්කයක් ලෙස ගෙනෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ බොරුව පෙන්නීමට පමණයි මෙහි දී මට අවශ්‍ය වුණෙ. ඇතැම් භික්‍ෂූන් වහන්සේ තිස්දහස් නම හැට දෙලක්‍ෂයට වඩා වටිනවා කියනවා. ඒ තර්කය වලංගු නැහැ. උන්වහන්සේ තර්ක කරන්නෙ ඔළුගෙඩි සංඛ්‍යාව මුල් කරගෙනමයි. එය දුබල තර්කයක්.

 

ගැමුණු රජු කල සිට 1815 දී රට ගිවිසුමකින් සුද්දන්ට භාර දෙන තෙක් රාජ්‍යය කලින් කී පරිදි අංශ දෙකකින් සමන්විත වූවා. ගිවිසුම අත්සන් කළ දිනත් උන්වහන්සේ වාරියපොළ සුමංගල හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයට හා කුප්‍රසිද්ධ ඩොයිලිට අභියෝග කළා. ඒ සිංහල බෞද්ධ රාජ්‍යය වෙනුවෙන්. 1815න් පසු සුද්දන් කලින් පැවති රාජ්‍යය පවත්වා ගෙන ගියේ නැහැ. ඔවුන් ගිවිසුමෙන් පොරොන්දු වුණා සිංහල සිරිතට අනුව රට කරවනවාය කියා. එහෙත් ඔවුන් එසේ කළේ නැහැ. සිංහල සිරිතට අනුව රාජ්‍ය පාලනයෙහි යෙදුණි නම් සුද්දන් සංඝයා වහන්සේගෙන් රාජ්‍ය පාලනය පිළිබඳ උපදෙස් ගත යුතුව තිබුණා. භික්‍ෂූන් වහන්සේ රාජ්‍යයේ අංශයක් ලෙස (චම්පකගේ අවස්ථාවාදී ක්‍රියාව අනුව නොව) පිළිගත යුතු ව තිබුණා.

 

එහෙත් සුද්දන්ට අවශ්‍ය වූයේ සංඝයා වහනසේ රාජ්‍ය පාලනයෙන් ඉවත් කිරීමට. සුද්දන් දළදා සමිඳුන්ගේ භාරකාරත්වයෙන් 1840 දී පමණ ඉවත් වීමෙන් 1815 ගිවිසුම කැඩුවා. 1817 දී ම මුස්ලිම් බදු එකතු කරන්නකු වෙල්ලස්සට පත් කළා. සිංහල සිරිත (නීතිය) 1815 දී අහෝසි කළා. අපට දැන් සිංහල සිරිත මතක නැහැ. අප තර්ක කරන්නේ සුද්දන්ගේ බොරු ඔළුගෙඩි ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වෙමින්. 1972 ව්‍යවස්ථාවෙනුත් අප සිංහල බෞද්ධ රාජ්‍යය අමතක කළා.

 

දහනවවැනි සියවසේ ඕල්කට්තුමා පැමිණ සියල්ල අවුල් කළා. ඔහු ඇස් මහින්ද හිමිපාණන් වහන්සේ මෙන් සිංහල බෞද්ධ වුණෙ නැහැ. ඔහු කිසිවකටත් නැති පරමවිඥානාර්ථවාදී ඊනියා ජාත්‍යන්තරවාදී බෞද්ධයකු පමණයි. එහෙත් මෙරට ප්‍රභූන් ඔහු අනුගමනය කළා. ඒ අය සිංහල බෞද්ධ රාජ්‍යය ගැන සොයා බැලුවේ නැහැ. ඉංගිරිසින් භික්‍ෂූන් වහන්සේට නායකකම් ප්‍රදානය කරලා වැරදි චිත්‍රයක් ලබා දුන්න. කිසිම බලයක් නැති නායකකම්වලින් සසුනට වැඩක් නැහැ. අධිකරණ නායක හාමුදුරුවරු අලුත්කඩේට වඩිනවා. මහානායක හාමුදුරුවන්ට සුද්දන් ඒ තනතුරු ලබා දුන්නෙ තමන්ට ඔත්තු සැපයීමටත්.

 

සංඝයා වහන්සේ රාජ්‍යය තුළ, රාජ්‍යය පිටුපස, තවත් රාජ්‍යයක් ද කියලා පුහු පඬියන් අහනවා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙ රාජ්‍යය මෙහෙයවන්නෙ කවුද කියන එක මේ පඬියන්ට ලෙනින්ගෙන් දැනගන්න තිබුණා. ඒත් මට ඒක තර්කයක් ලෙස යොදා ගන්න අවශ්‍ය නැහැ. ඒ සාදෘශ්‍රයෙන් තර්ක කිරීම. අපි ප්‍රමූල ධර්මවලට යමු. සංඝයා වහන්සේ සිංහල බෞද්ධ රාජ්‍යයෙහි තවත් රාජ්‍යයක් නො වෙයි. උන්වහන්සේ රාජ්‍යයේ අංශයක්.

 

ඕල්කට් බෞද්ධයන් මේ කාරණය තේරුම් ගත්තෙ නැහැ. විහාරගම් දේවාළ පනත සුද්දන්ගෙ වැඩක්. පිං පෙට්ටිවලට සීල් තැබීමත් සුද්දන්ගෙ හා ඊනියා ප්‍රභූන්ගෙ වැඩක්. එකල භික්‍ෂුන් වහන්සේටත් මෙය තේරුණෙ නැහැ. අදත් හරියට තේරෙන්නෙ නැහැ. සාංඝික දේපොළවලට හෝ පන්සල්වලට හෝ ලැබෙන ආදායම රාජ්‍යයේ ගිහි අංශයට අයත් කාරණයක් නො වෙයි. ඒ සඳහා ඒ ඒ නිකාය නිසි පිළිවෙළක් අනුගමනය කළා නම් හොඳයි.

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බෞද්ධ සිද්ධස්ථානවලට ඇඟිලි ගහන්න පුළුවන්. එයත් සුද්දන්ගෙ වැඩක්. බෞද්ධ සිද්ධස්ථාන පාලනය ගැන විධිමත් ක්‍රමයක් නැහැ. මේ සියල්ලට හේතුව සිංහල බෞද්ධ රාජ්‍යය ගැන නිසි අධ්‍යයනයක් නො කිරීම. කලකට පෙර ඇතැම් සිද්ධස්ථාන ලෝක උරුම බවට පත් කිරීමේ දී මා විරුද්ධ වුණා. ඒ ගැන ලිපිත් ලීිව්වා. ඒ ලිපි අද මා සතුව නැහැ. එහෙත් එදා කිසිවකු සුපුරුදු පරිදි මගේ අදහස් සතපහකටවත් ගණන් ගත්තෙ නැහැ. බොහෝ දෙනා ලෝක උරුම බවට පත් කිරීම මහා ගෞරවයක් ලෙස සැලකුවා. අදවත් ඒ ලොකුකම පැත්තකට දමා බෞද්ධ සිද්ධස්ථාන නිදහස් කරගන්නවා නම් හොඳයි. අප සුද්දන්ගේ මිනුම්දඬු අනුව ලොකුකම මැනීම නවත්වන්නේ කවදා ද?

 

භික්‍ෂූන් වහන්සේ නමක් පුද්ගලයකු ලෙස රටේ නීතියටත් යටත්. බුදුන් වහන්සේ ඒ බව දේශනා කර තිබෙනවා. එහෙත් භික්‍ෂු සංඝයා ලෙස යටත් වන්නේ බුද්ධ නීතියට (විනයට) පමණයි. අද මේ කරුණු දෙක පටළවා ගෙන. භික්‍ෂූන් වහන්සේ රාජ්‍යයේ වෙන ම අංශයක්. රාජ්‍යයේ ගිහි අංශයට පැවිදි අංශය පාලනය කරන්න බැහැ. රටට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී රාජ්‍යයේ අංශ දෙකට ම මැදිහත් වීමට පුළුවන්. භික්‍ෂූන් වහන්සේ මෙරට රජවරුන් පත්කළ බව පඬියන් දන්නේ නැතිව ඇති. මෙය සුද්දන්ගේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයේ ඔළුගෙඩි ගණන් කිරීමකින් තීරණය කරන්න බැහැ. අප සුද්දන්ගේ ඇහෙන් ලෝකය බැලීම නවත්වන්නේ කවදා ද?

 

 

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

 

http://www1.kalaya.org

 

 

 

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *