ජීනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සටන දිගටම ගෙනියනවා

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම සභාපති සුනිල් චන්ද්‍රකුමාර

ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේදී කොටි ඩයස්‌පෝරා සංවිධාන 10 කට අධික සංඛ්‍යාවකට එරෙහිව සටන් වැදීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඉදිරිපත් විය. ශ්‍රී ලංකා හමුදාව ලක්‍ෂයකට අධික ද්‍රවිඩ ජනතාවක්‌ මරා 146000 ක ද්‍රවිඩයන් අතුරුදන් කර ඇති බවට නිරතුරුවම චෝදනා එල්ල කරද්දී ජීනිවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊට ප්‍රතිචාර දැක්‌වීමට ඉදිරිපත් වූයේ නැත. මේ අවාසනාවන්ත තත්ත්වය මත ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම සභාපතිවරයකු වූ සුනිල් චන්ද්‍රකුමාර ජීනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ඊට ප්‍රතිචාර දක්‌වනු ලැබීය.

අද අපි හෙළි කරන්නේ රටවල් 10 ක දේශප්‍රේමීන් ගෙන් සැදුම්ලත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම සභාපති සුනිල් චන්ද්‍රකුමාරගේ ප්‍රකාශයයි.

“ලොව කිසිම රටක්‌ තමන්ගේ හමුදාව යුද අපරාධ සිදු කළ බව පිළිගනිමින් බටහිර රටවල යෝජනාවකට එකඟ වන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ රජය මුල්වරට ජිනීවා යෝaජනාවේ සම අනුග්‍රාහකයා බවට පත් වී වසර දෙකක්‌ තුළ යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට මානව හිමිකම් කවුන්සිලයට පොරොන්දු වුණා. මේ නිසා විදේශ රටවල සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් එකතු වී ගෝලීය ශ්‍රී ලංකා සංසදය ස්‌ථාපිත කළා.

ඉතා කෙටි කලක්‌ තුළ ස්‌ථාපිත කළ ගෝලීය ශ්‍රී ලංකා සංසදය එක්‌සත් එමීර් රාජ්‍යය, ඊශ්‍රායලය, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ස්‌විස්‌ටර්ලන්තය, කැනඩාව, ප්‍රංශය, ඔස්‌ටේ්‍රලියාව, ජර්මනිය වැනි රටවල් දක්‌වා ව්‍යාප්ත වී තිබෙනවා.

ශ්‍රී ලංකාව පාලනය කරන වත්මන් දේශපාලනය වසර 30 ක්‌ තිස්‌සේ පැවැති කොටි ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට කටයුතු කළ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවා යෝජනාවට එකඟ වීම රට පාවාදීමක්‌ ලෙස සැලකිය යුතුයි. මේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට සෙබළුන් 29000 ක්‌ දිවි පිදුවා තවත් 14000 ක්‌ බරපතළ ලෙස තුවාල ලැබුවා. එහෙත් වත්මන් රජය බෙදුම්වාදීන්ට බන්දේසියක තබා ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කරනවා යෑයි සුනිල් චන්ද්‍රකුමාර මහතා කියා සිටියේය.

උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ සිවාජිලිංගම් ඇතුළු බෙදුම්වාදී කල්ලිය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යෝජනා සම්මත කර ජීනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත එවද්දී ශ්‍රී ලංකා රජය බලා සිටිනවා. යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් සමුළුව අමතමින් යාපනය විශ්වවිද්‍යාලයේ සියයට 60 ක්‌ සිසුන් සිංහලයන් බවත් මුළු යාපනයේ කාන්තාවන් හමුදා ආධිපත්‍යයට නතු වී ඇති බවත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ බොරු ප්‍රකාශ කරන අයුරු මා බලාසිටියා. මේ බොරු ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්‌වීමට ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කළේ නැහැ” යෑයි හෙතෙම වැඩිදුරටත් පළ කළේය.

“රාජ්‍ය නොවන සංවිධාන ඉන්දියාව සහ පාකිස්‌තානය වැනි රටවලට චෝදනා එල්ල කරද්දී එම රටවල තානාපති නිලධාරීන් විගස ඊට ප්‍රතිචාර දැක්‌වීමට කටයුතු කළ අයුරු අප දුටුවා. එහෙත් අපේ තානාපති යාන්ත්‍රණය නිහඬව සිටියා” යෑයි හෙතෙම කීවේය.

හොර සංවිධාන පිහිටුවාගෙන මානව හිමිකම් කවුන්සිලය, අරක්‌ගෙන කොටි ඩයස්‌පෝරා සංවිධාන කරන මේ සාවද්‍ය ප්‍රචාරයට එරෙහිව නැඟී සිටීමට අපේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය තීරණය කළා. ඉතා කෙටිකලක්‌ තුළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ රැස්‌වීම පවත්වා කොටි යුද අපරාධ හෙළි කළා. කොටි ඩයස්‌පොරා ක්‍රියාකාරීන්ට අප කළ හෙළි දරව්වලට ප්‍රතිචාර දැක්‌වීමට නොහැකි වුණා. නැගෙනහිර ප්‍රදේශයේදී පොලිස්‌ භටයන් 600 ක්‌ සංහාරය කිරීමට කොටි ක්‍රියාකළ බව පැවසූ විට එය විනයාගමූර්ති කළ බව කොටි පැවසුවා” යෑයි සුනිල් චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේය. තවදුරටත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අරමුණු හෙළි කළ හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ දියත් කර ඇති මෙහෙයුම ඉදිරියටත් ගෙන යන බවයි.

“සිවාජිලිංගම්, ආනන්දි සසිතරන් මෙන්ම වැල්ලවත්තේ සහ යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන, නිමල්කා ප්‍රනාන්දු සහ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිස ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ගෙන යන ශ්‍රී ලංකා විරෝධී ප්‍රචාරවලට තවදුරටත් නිහඬව සිටිය නොහැකියි. එක්‌ පැත්තකින් රටට එරෙහි ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට කටයුතු කරනවා. අනික්‌ පැත්තෙන් ත්‍රස්‌තවාදය නැති කළ හමුදාවට එරෙහිව යුද අපරාධ විමර්ශන පැවැත්වීමට සැලසුම් කරනවා. රටේ බහුතරය මේ බව දන්නේ නැහැ.

මානව හිමිකම් කවුන්සිලයට පැමිණි විට කොටි ඩයස්‌පෝරාව කොතරම් බොරු කියනවද කියලා අනාවරණය වෙනවා. යුද්ධය අවසන් වුවත් තවමත් ද්‍රවිඩ ජනතාව මර්දනය කරන බවට මානව හිමිකම් සමුළුවේදී චෝදනා එල්ල වන විට රජය නිහඬව සිටිනවා යෑයි සුනිල් චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේය.

කොටි සංවිධානය සමඟ එක්‌ව කටයුතු කළ ද්‍රවිඩ සංධානය යුද අපරාධවලට සම්බන්ධ නමුත් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ ද්‍රවිඩ සංධානයට සම්බන්ධ යුද අපරාධකරුවන් බවට චෝදනා කළ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම සභාපති චන්ද්‍රකුමාර මහතා, මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇති බවත් ඔහුට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේ සභාපති වෙත පැමිණිලි කිරීමට ක්‍රියා කළ බවත් කීවේය.

අපේ නිර්භීත හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරද්දී අපට නිහඬව සිටිය නොහැකියි. අප මානව හිමිකම් කවුන්සිලය තුළ දියත් කර ඇති මෙහෙයුම රජයට නතර කළ නොහැකියි. රජය කුමන පියවර ගත්තත් අපි යටත් වන්නේ නැහැ. උතුරේ සහ දකුණේ රාජ්‍ය නොවන සංවිධාන රජයේ සංහිඳියා වැඩපිළිවෙළ කඩාකප්පල් කරමින් රජයට චෝදනා එල්ල කරන විට රජය නිහඬව සිටිනවා යෑයි හෙතෙම කියා සිටියේය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරමින් ත්‍රස්‌තවාදය හමුවේ සටන් කරන බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදාවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනයට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙස ප්‍රකාශ කර ඇත. මේ අභියෝගයට මානව හිමිකම් කොමසාරිස්‌ මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නැත.

කීර්ති වර්ණකුලසූරිය

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *