ජිනිවා සමුළුවේ නැගුණු හඬ

කීර්ති වර්ණකුලසූරිය විසිනි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ දූෂිත ක්‍රියා රැසක්‌ සිදුවේ. එය ඇස්‌ පනාපිට සනාථ වූයේ එකම දිනයේදී රාජ්‍ය නොවන සංවිධාන දෙකකින් ඊලම්වාදීන්ට පට්‌ටපල් බොරු ප්‍රකාශ කිරීමට ඉඩ ලැබීමය.

පසුගිය සැප්තැම්බර් 18 දා උදේ තමිල්නාඩු කොටි හිතවාදී වයිකෝ සංවිධාන දෙකකින් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව බොරු චෝදනා එල්ල කළේය.

අපි මේ ගැන මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරිනියකගෙන් විමසූ විට ඇය පැවසුවේ වයිකෝට කතා දෙකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ පැවැත්විය හැකි බවයි.

එසේම තමිල්නාඩු ඊලම් සංවිධාන 14 ක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කරද්දී ශ්‍රී ලාංකිකයන් අටදෙනක්‌ ඊට ප්‍රතිචාරය දැක්‌වූහ.

අද අපි ඉදිරිපත් කරන්නේ එම කරුණුයි.

හිටපු විශේෂ කාර්ය බළකා භටයකු මෙන්ම ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිත ජනත් විමල සමුළුවට අමතමින් මෙලෙස කීවේය.

“වසර 30 ක්‌ තිස්‌සේ ලොව බිහිසුණු ත්‍රස්‌ත සංවිධානය ම්ලෙච්ඡ ක්‍රියා සිදුකරද්දී මානව හිමිකම් කවුන්සිලය නිහඬව සිටියා. අදත් එම සංවිධානයට සම්බන්ධ පිරිස සාවද්‍ය ප්‍රචාර මගින් ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාර දියත් කරනවා. ඒ බව සනාථ වන්නේ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවෙන් ගෙන ආ දේශපාලන අනාථයන් ලවා ශ්‍රී ලංකාවට මඩ ගැසීමයි. මේ නිසා මෙම කොටි හිතවාදීන්ගේ තක්‌කඩි ක්‍රියා නොපිලිගැනීමට මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාකළ යුතුයි.

කොටි සංවිධානය අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරද්දී කවුන්සිලය නිහඬව සිටියේය. මේ නිසා මානව හිමිකම් කවුන්සිලය අපක්‍ෂපාතී හා සාධාරණ විය යුතුයි. දුප්පත් ද්‍රවිඩයන්ගේ අරමුදල් වලින් යෑපෙන ද්‍රවිඩයන් සුළු පිරිසකට මෙම මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාදාමයන් කඩාකප්පල් කිරීමට ඉඩ නොදිය යුතුයි.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිත එරික්‌ මාකවිට මහතා මෙලෙස ප්‍රකාශ කළේය.

ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ බලපෑම් මත රජය ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදීමට ක්‍රියාකළා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට හෝ රටේ ඒකීය භාවය විනාශ කිරීමට මානව හිමිකම් භාවිත නොකළ යුතුයි.

මානව හිමිකම් කවුන්සිලය එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කරමින් සෛවරී රාජ්‍යයක කටයුතුවලට මැදිහත්වී සිටිනවා. එසේම අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පමණක්‌ නොව හමුදාව අඩුකිරීමට පවා මානව හිමිකම් කවුන්සිලය යෝජනා කර තිබෙනවා. උතුරේ ජනතාවට දේශපාලන හිමිකම් ලබාදුන්නේ පසුගිය රජයයි. වසර ගණනකට පසු මැතිවරණයක්‌ තබා එම අයිතිය ලබාදුන්නා. අද සියයට 50 ක්‌ ද්‍රවිඩ ජනතාව ජීවත්වන්නේ දකුණේ සිංහල ජනතාව සමඟයි. රජයේ ඉහල ධුර දරමින් විවිධ ව්‍යාපාර පවා මෙහෙයවන්නේ ද්‍රවිඩ පාර්ශවයයි.

මානව හිමිකම් ගැන හඬ නගන අපි ශ්‍රී ලංකාව බිහිසුණු ත්‍රස්‌ත සංවිධානයක්‌ පරදවා සියළු දෙනාගේ මානව හිමිකම් ආරක්‍ෂා කළ අයුරු ගැන නිරීක්‍ෂණය කළ යුතුයි.”

කුවේටයේ සිට පැමිණි මාරි විලියම්ස්‌ මහත්මිය සමුළුව අමතමින් පැවසුවේ මානව හිමිකම් උල්ලංඝණය කරන්නේ ත්‍රස්‌තවාදීන් බවයි. අපේ හමුදාව විසින් කොටි සංවිධානය පරාජය කළ පසු 2009 මැයි 27 දා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ සැසිවාරයක්‌ පවත්වමින් ශ්‍රී ලංකා රජය ඇගයීමකට ලක්‌කළා. එහෙත් අද එම මානව හිමිකම් කවුන්සලයට අපට එරෙහිව යෝජනාවක්‌ සම්මත කර තිබෙනවා.

මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාවේ පරස්‌පර විරෝධි හඬ රැසක්‌ තිබෙන බව කිවයුතුයි.

එහෙත් ඒ ගැන අවධානය යොමුනොකර සෛවරී රාජ්‍යයකට එරෙහිව යෝජනාවක්‌ සම්මත කර තිබෙනවා. මේ ගැන මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමුකළ යුතුයි.

මෙහිදී ස්‌විස්‌ටර්ලන්තයේ පදිංචි එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ නිර්මලා ලියන පටබැඳි මහත්මිය මෙලෙස පැවසූවාය.

“මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය අන්ධ සහ බිහිරි පිළිවෙතක්‌ අනුගමනය කරනවා. ඉන් කවුන්සලයේ තත්ත්වය දියවී යන බව කිවයුතුයි. මේ වසරේදී විද්වතුන් කිහිපදෙනෙකුගේ වාර්තාවක්‌ අප මානව හිමිකම් කවුන්සිලයට භාරදුන්නා.එය අධ්‍යනය කිරීමට කවුන්සිලය ක්‍රියා කළ යුතුයි.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා ධනවත් රටවල්වලට හා දුප්පත් රටවලට හැදි දෙකෙකින් බෙදනවා. කොටි ත්‍රස්‌තවාදීන් සිංහල, මුස්‌ලිම් හා ද්‍රවිඩ ජනතාව ඝාතනය කරද්දී මානව හිමිකම් කවුන්සිලය නිහඬව සිටියා. එහෙත් කවුන්සිලය අද සිදු කරන්නේ අපේ හමුදාවට තඩි බෑමයි.”

මේ අතර පසුගිය 23 දා ජීනීවා නුවරදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මහසභාව පැවැත්වුණි. ඊට බ්‍රිතාන්‍ය අයර්ලන්තය ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව එමීර් රාජ්‍යය ස්‌විස්‌ටර්ලන්තය සහ පෝලන්තය යන රටවල නියෝජිතයන් සහභාගී වූහ. එහිදී ඉදිරි මාස 12 තුළ මානව හිමිකම් කවුන්සිලය ක්‍රියා කරන්නේ කෙසේද යන්න අධ්‍යනය කිරීමට තීරණය විය.

36 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර, ලියනපතිරණ, අනුරාධා යහම්පත්, ආචාර්ය නාලක ගොඩහේවාද කළ කතා අපි ඉදිරියේදී පළකරන්නෙමු.

මෙවර සමුළුවේදී තහවුරු වූයේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිතයන්ගේ හඬ අභිබවා යාමට තමිල්නාඩුවේ සිට කුලියට ගත් ද්‍රවිඩයන් පිරිසක්‌ කැඳවා එල්ලකළ සාවද්‍ය චෝදනා සනාථ කිරීමට එලෙස හඬ නැගූ පිරිසටම නොහැකිවීමයි.

ඊට හොඳම නිදසුන 146000 ක්‌ ද්‍රවිඩයන් මැරූ බවට එල්ල කළ චෝදනාවයි.

මෙපමණ සංඛ්‍යාවක්‌ මැරුවානම් එම මළ සිරුරු කොහේද? මරා දැමුවන්ගේ නම් ගම් කුමක්‌ද? ඊට ප්‍රතිචාර දැක්‌වීමට කොටි ඩයස්‌පෝරාවට නොහැකිවිය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *